10         තිරසාර සංවර්ධනය තුළින් සෞභාග්‍යමත්  සමාජයක් 

 

 10       රාජ්‍ය ප්‍රතිපත්තිවලට වලට අනුකූලව  සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම් ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ  ජන දිවිය නංවාලීම

S Location Weerambuge

හැඳින්වීම

වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 38 කින් සහ ගම්මාන 122 කින් යුක්ත වේ.

වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විශාලත්වය වර්ග කිලෝමීටර් 96.183 ක් ද අක්කර අනුව බලන විට අක්කර 23757.28 (හෙක්ටයාර් 9618.33) කින්ද යුක්තය. මෙහි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 38 කින් අන්තර්ගත වන අතර ගම්මාන වශයෙන් ගත්විට ගම්මාන 122 ක් ඇත. මුළු ජනගහනය 36628 කි. පවුල් සංඛ්‍යාව 10869 කි. ජනගහනයෙන් 99.23% ක බහුතර සිංහල ජනතාවක් ජීවත්වන මෙම කොට්ඨාශය තුළ අන්‍ය ජාතීන් සුළු පිරිසක් ජීවත් වේ. ආගමික වශයෙන් ගත්විට 97.31% ක බෞද්ධ ජනතාවක් ජීවත් වන බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වේ. සමෘද්ධිලාභී පවුල් 2222 ක් වේ. මහජනාධාර ලබන පවුල් සංඛ්‍යාව 388 ක් වේ.

 

සමස්ථයක් ලෙස ගත්කල තැනිතලා භූමි ප්‍රදේශයකින් යුක්ත වුවද තැනින් තැන පොළව මට්ටමින් උඩට නැගුන කඳු වැටි කිහිපයක්ද දක්නට ඇත. ස්වාභාවික සම්පත් ලෙස කළු ගල් හා මැටි කර්මාන්තය සදහා සුදුසු මැටිද මෙම ප්‍රදේශය් දක්නට ඇත. කළුගල් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාම ව්‍යාප්තව ඇති බව විශේෂයෙන් දක්නට ඇති අතර ඒ නිසාම ඒ හා බැදුණු කර්මාන්ත සදහා යොමුවීමේ ප්‍රවනතාවයකුත්, ඒ ආශ්‍රිත පරිසර ගැටළු සමූහයකුත්, ප්‍රමාණවත් පානීය ජල අවශ්‍යතා ලබා ගැනීමේ ගැටළු, වර්ධනයවී ඇති බව ඉදිරිපත් වන ජනතා අවශ්‍යතා හා ගැටළුවලදී මනාව පැහැදිලිවේ.

 

කෘෂිකර්මය පදනම් කර ගත් ආර්ථික රටාවක් මෙම ප්‍රදේශයේ ඇති අතර පොල් හා වී ප්‍රධාන වැවිලි බෝග වේ. වැව් 20 හා අමුණු 23 ක් පදනම් කර ගනිමින් කෘෂිකාර්මික කටයුතු වල නියලුනද වර්ෂාපතනය, කෘෂිකර්මාන්තය සදහා ප්‍රධානතම ජලය සපයන ජල මූලාශ්‍රය බවට පත්වී ඇත. දකුණු උතුරු දිශාවගතව ගලා බස්නා කොළමුණු ඔය හා මගුරු ඔය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය කරමින් ගලා බස්නා ප්‍රධාන ජල මූලාශයන් දෙකය. දේශගුණික තත්වය සැලකීමේදී සෙල්සියස් අංශක 29.66 ක වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයක් හා මිලිමීටර් 149.5 ත වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනයක් ද දිවා කාලයේ අංශක 70.67 ක වාර්ෂික සාමාන්‍ය අර්ද්‍රතාවක් ද මෙම කොට්ටාශය තුළ 2017 වර්ෂයේදී දක්නට ලැබිණි.

 

භූගෝලීය හා පරිපාලන පිහිටීම

මෙම කොට්ඨාසයේ පරිපාලන සීමා මායිම් ලෙස උතුරු දෙසින් බමුණාකොටුව හා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, දකුණට පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද, නැගෙනහිරෙන් කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, බටහිරට නාරම්මල සහ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද මායිම්ව පිහිටා ඇත.

තවද කුරුණෑගල මීගමු පාරත්, කළුගමුව - වාරියපොල මාර්ගයත් කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත.‍

 

ඓතිහාසික පසුබිම

මෙම කොට්ඨාශයෙහි ඓතිහාසික පසුබිම පිළිබඳව නොයෙකුත් මත ජනප්‍රවාදයෙහි පවතියි. ඒ අනුව විරඹුගෙදර යන්න සෑදී ඇති ආකාරය පිළිබඳව ගම්මුන් මෙසේ සඳහන් කරයි.  ප්‍රදේශයේ ගම්මුන් වීරයෙකු ලෙස සැලකූ පුද්ගලයෙක් වාසය කළ අතර   මෙම පුද්ගලයාට අඹුවන් දෙදෙනකු සිටි බවත් ඒ අනුව මෙම අඹුවන් වාසය කළ ප්‍රදේශය නොහොත් වීරයාගේ අඹුව සිටි ගෙදර යන අරුතින් මෙම නම පටබැඳි බවත් පසු කලකදී  උච්චාරණයේ පහසුව තකා වීරඹුගෙදර ලෙස ව්‍යවහාරයට පැමිණි බව කියැවේ. පසු කලකදී මෙම වීරයා විසින් භාවිතා කරන ලදැයි සැලකෙන උදැල්ල, පිහිය, කුරුණු පෙට්ටිය අදද බමුණාකොටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වීරහේන ගෙදර විහාරස්ථානයේ දැකිය හැකිය.

විරඹුගෙදර කොට්ඨාශයට අයත් පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන වශයෙන්,

  1. හුරුග්ගමුව පුරාණ විහාරස්ථානය
  2. රුවන්ගිරිකන්ද වළගම්බා පුරාණ විහාරස්ථානය
  3. සේරුවාගල පුරාණ විහාරස්ථානය
  4. අල්ගම සංඝරාජ රජමහා විහාරස්ථානය
  5. මඩවල ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය
  6. වෙහෙරබැද්ද පුරාණ විහාරස්ථානය

                                                 හදුන්වාදිය හැකිය.

හුරුග්ගොමුව පුරාණ විහාරස්ථානයෙහි ආරම්භය පිළිබඳව සලකා බැලීමේදී ඉඩම් පූජා කළ පිඹුරු පත් පරීක්ෂා කර බැලීමේදී රාජසිංහ රජු ඇහැළේපොළ ධම්මානන්ද රාළගේ නමින් කුඹුරක් පූජා කර තිබීම හා ඒ සම්බන්ධයෙන් ඇති වූ කෝළහාලය විසදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඉඩම විහාරස්ථානයට පූජා කරන ලද බව සනාථ වෙයි . විහරස්ථානයේ පිහිටි හුරුග්ගමුව නම් ග්‍රාමයෙහි නම සැකසුනු ආකාරය හා සම්බන්ධ ශිලාලේඛනයත් චෛත්‍ය ලඟ දක්නට ලැබෙන අතර සාංඝික දේපළ පරිහරණයේ ඵලවිපාක දැක්වෙන සුනඛයෙකු හා රූප කොටා ඇත .

විහාරස්ථානයෙහි සිට මීටර් 150 ක් පමණ උසින් පිහිටි ගල් පර්වතයක සිරි පතුළක් දක්නට ලැබෙන අතර ක්‍රි.ව. 1924 දී ඉදිකොට ඇති විහාරයෙහි දක්නට ලැබෙන නුවර යුගයට නෑකම් කියන චිත්‍ර අධ්‍යනය කිරීමේදී පෙනී යයි.

වළගම්බා සමයට අයත් රුවන්ගිරි කන්ද වළගම්බා පුරාණ විහාරස්ථානයෙහි ඓතිහාසික පසුබිම පිළිබඳව කරුණු සලකා බලන විට කස්සක, මිත්සක සහ චුල්ල පිණඩපාතික යන රහතන් වහන්සේලා විසින් පුදන ලද බුද්ධ ස්පර්ශය ලත් රන් පිළිම වහන්සේ සහ බෝධීන් වහන්සේ නමක් දැකිය හැකි අතර මේවා වළගම්බා රජු විසින් ස්නානය කරන ලද පොකුණු ලෙසත් රහතුන් වහන්සේලා විසින් ප්‍රයෝජනයට ගන්නා ලද බවත් ජප්‍රවාදයෙහි පවතී.

සේරුවාගල පුරාණ විහාරස්ථානයේ ද ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමක ඇති විහාරස්ථානයක් වන අතර මෙය අක්කර 400 ක පමණ පැතිරුණු කලුගල් තලාවක් මත පිහිටා ඇත.

මෙම විහාරස්ථානයෙහි බිතු සිතුවම් ආදිය නුවර යුගයට අයත් යැයි සැලකෙන අතර විහාරස්ථානය මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇත. රජමාළිගාවක නටඹුන් හා ගල්කනු මෙම විහාරස්ථාන භූමියෙහි තවමත් දත්නට ඇති නිසා මෙය රජවරුන්ගේ නවාතැන්පොළක් ලෙස පවතින්නට ඇතැයි විශ්වාස කෙරෙයි.

වෙහෙරගල පුරාණ විහාරස්ථානය පිළිබඳ කරුණු සලකා බලන විට පසෙකින් වෙහෙරබැන්ද ග්‍රාමයෙන් ද මැදිව හුදකලා වූ උස් බිමෙහි ගල්තලාව මත ගිරි ලිපියක් දක්නට ලැබෙන අතර අඩි 4 X 2 X6 ප්‍රමාණයේ බ්‍රාහ්මීය අක්ෂර වලින් එය සමන්විත බවත් පෙනි යයි. එසේම දාගැබ උතුරු දිශාවට වන්නට පුරාණයේ ස්ථානීය ප්‍රයෝජනයට  යොදාගත්තේ යැයි ස්වාභාවිකව පිහිටි පොකුණක් ඇති බවද එහි ජලය පුරාණයේ සිට මේ වන තෙක්  නොසිදී ඇති බවද කියවේ. බැලූ  බැල්මට රජ මාළිගාවක හෝ පැරණි ගොඩනැගිල්ලක ස්මාරක,ශේෂ, ගල් කුළුණු හා භාවිතා කල ගඩොල් ගිරි ලිපිය සහිත ගල්තලාව අසල භූමියේ දක්නට ලැබෙන අතර මෙය අනුරාධපුර මුල් යුගයට අයත් වෙතැයි පැවසෙයි.

එසේම මඩවල ශ්‍රී ශෛලබිම්බාරාම උපෝසථාරාම විහාරස්ථානය පිළිබඳ කරුණු සලකා බලන විට මෙය ක්‍රි.පූ. 67 වන සියවසට අයත් III වසභ රජ යුගයෙහි ඇති වූවක් ලෙස සැලකෙන අතර අනුරාධපුර යුගයෙහි එනම් මෙය ක්‍රි.ව.1-5 ශතවර්ෂය දක්වා පැණි සිද්ධස්ථානයක් බව ප්‍රකාශ වෙයි. මහනුවර  යුගයේ සංඝරාජ ස්වාමීන් වහන්සේ සත් කෝරළ ප්‍රදේශයේ වැඩවසන කාල පරිච්චඡේදයෙහි මඩවල විහාරස්ථානයෙහි වර්ථමානයේ බුදුගෙය ඉදිකර ඇති බව ද ජනප්‍රවාදයක්ව පවතී.

 එසේම එම සංඝරාජ හිමියන් පිණ්ඩපාතයෙහි වඩින අවස්ථාවලදී නතර වූ ස්ථානය වර්තමානයෙහි අල්ගම සංඝරාජ විහාරස්ථානය ද ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් බව තොරතුරුවලින් පැහැදිලි වෙයි.

සේවය කල ප්‍රාදේශීය ලේකම්වරු

නම

සිට

දක්වා

ජේ. ඇම්.ඩී. සිරිවර්ධන  මහතා 

1990.04.01

1991.06.01 

කේ.එල්.ආර්.ඩබ්. බංඩාර මහතා

1991.06.01

1983.06.01

එම්.ඒ.බී.ඩබ්. බණ්ඩාරනායක මහතා

1983.06.01

1995.03.01

එච්.එම්.පී. හිටිසේකර මහතා

1995.03.01

 1997.05.04

එච්.එම්.පී. හිටිසේකර මහතා

1997.05.05

1998.05.18

ටී.එම්.එම්. තෙන්නකෝන් මහතා

1999.05.01

2001.07.06

ඩී. ඇම්. හීන්බංඩා මහතා

2002.02.15

2007.08.01

ඒ.එච්.එස්. විජේසිංහ මහතා

2007.08.01

2011.08.01

ආර්.ඒ.එස්. ජයතිලක මහතා

2007.08.30

2016.06.02

ඊ.එම්.එස්.පී. ඒකනායක මෙනවිය

2016.06.02

2024.02.11

ජේ.ජී.ජී. අයෝමි වීරවර්ධන 2024.02.14 අද දක්වා

  

පුවත් සහ සිදුවීම්

Scroll To Top